සර්කිට් එකකින් ඉලෙක්ට්‍රොනික් උපාංග ඉවත් කරන්නට සහාය වන De soldering පොම්පය ගැනයි මේ සටහන…

 මම කලින් ලිපියකින් කියලා දුන්නනේ පරිපථයක් හරියාකාරව පාස්සා ගන්නා ආකාරය ගැන. ඊයම් දාලා කොච්චර හොදට පාස්සා ගත්තත් ඉතිං බලාපොරොත්තු වෙන දේ ඉටු වෙන්නේ නැත්නම් අදාල උපාංගය පරිපථයෙන් ඉවත් කරලා දාන්න වෙනවනේ.පිලිස්සුණ ඉලෙක්ට්‍රොනික් උපාංගයක් පරිපථයක තියෙන තාක් කල් ඒ පරිපථය හරියට ක්‍රියාකරන්නේ නැහැ. සමහර විට කොහොමටවත් ක්‍රියාත්මක වෙන්නේ නැතිව යනවා. ඉතින් අද මම කියන්න යන්නේ එහෙම දෝෂ සහිත උපාංගයක් පරිපථයකින් ඉවත් කර ගැනීමට භාවිතා කරන උපකරණයක් ගැනයි.
De soldering Pump
 ඊයම් ඉවත් කිරීම සදහා ඉහත රූප සටහනේ දක්වා ඇති De soldering Pump යනුවෙන් හැදින්වෙන මේ උපකරණය අවශ්‍ය වන්නේ.සාමන්‍ය භාවිතාවේදී Sucker යන නමිනුත් මෙය හැදින්වෙනවා. ඉහතින් පෙනෙන රූපයේ a. b. c. යනුවෙන් ස්ථාන 03ක් සදහන් වෙනවා. මෙහි a. යනුවෙන් හැදින්වෙන කොටස b. දක්වා පහලට ගෙන ආ හැකි කුඩා ලීවරයක්. එසේම  b. සිට c. දක්වා ඇත්තේ කුඩා වායු පොම්පයක්. a. ලීවරය පහළට ගෙනගිය පසු ඉබේම ලොක් වීමක් සිදුවනවා. b. ස්ථානයේ ඇති කුඩා බට්න් එක press කිරීමෙන් වෙන්නේ වායු පොම්පය තුළ තිබෙන ස්ප්‍රිං එක ආධාරයෙන් a. ලීවරය වැරෙන් නැවත තිබූ ස්ථානයටම ගමන් කිරීම. මෙහිදී වායූ පොම්පය තුළට වායුව ක්ෂණිකව ඇද ගැනීමක් වෙන්නේ වායූ පොම්පය තුළ ස්ථාපිතව ඇති රබර් වෑල්ව් එක නිසයි. අපට මෙම De soldering Pump එක අවශ්‍ය වන්නේ බවුත් එක ආධාරයෙන් ද්‍රවයක් බවට පත්කරගත් ඊයම් සර්කිට් එකෙන් ඉවත් කර ගැනීමයි. මෙම උපකරණයත් රු. 100ක් වැනි සුලු මුදලකට වෙළදපලෙන් ලබා ගත හැකියි. මේ උපකරණය භාවිතයෙන් පරිපථයකින් ඉලෙක්ට්‍රොනික් උපාංගයක් ඉවත් කරගන්නා ආකාරය ගැන රූප සටහන් සහිතව මීලග ලිපියෙන් බලාපොරොත්තු වන්න…
Posted in Uncategorized | Leave a comment

ඒ.සී ධාරාවක් ඩී.සී ධාරාවක් බවට හරවන්නේ මෙන්න මෙහෙමයි…..

මේ දවස් වල අපි කතා කරමින් ඉන්නේ ඉලෙක්ට්‍රොනික පරිපථ වල බහුලව දැකිය හැකි තවත් එක් උපාංගයක් වන ඩයොඩය ගැන. ඩයොඩ වර්ග කිහිපයක්ම ඇති බව පසුගිය ලිපියෙන් මා පෙන්වා දුන්නා. අද අපි විමසා බලමු සාමන්‍ය වර්ගයේ ඩයෝඩයක් භාවිතාකරමින් ඒ.සී ධාරාවක් ඩී.සී ධාරවක් බවට පරිවර්තනය කරගන්නා ආකාරය ගැන. සරලවම කියතොත් ප්‍රත්‍යාවර්ථන ධාරවක් (Alternating Current) හෙවත් ඒ.සී  ධාරාවක් ගමන් කරන එක් නිශ්චිත දිශාවක් නොමැති නමුත්, සරල ධාරවක් හෙවත් (Direct Current) ඩී.සී  ධාරාවක් ගමන් කරන්නේ එක් නිශ්චිත දිශාවකට පමණයි.
ඩයෝඩයක් යොදාගැනීම මගින් ඉතාමත් පහසුවෙන් ඒ.සී. ධාරාවක් , ඩී.සී ධාරාවක් බවට පරිපර්ථනය කරගත හැකියි. එහිදී සිදුවන ක්‍රියාවලිය පහත සදහන් රූපසටහන මගින් ඉතා පැහැදිලිව පෙන්නුම් කර ඇත.
මෙහිදී ඩයෝඩ යොදාගෙන ඇති ආකාරය Bridge Rectification ලෙස හැදින්වෙන අතර ඒ.සී. ධාරාවක් ඩී.සී. ධාරාවක් බවට පරිවර්ථනය කරගැනීමට බහුලවම ගැනෙන්නකි.මෙවැනි ඩයෝඩයන් රෙක්ටිෆයර් ඩයෝඩයන් ලෙස හැදින්වේ.
ඩයෝඩ් 04ක් එක්කර බ්‍රිජ් ඩයෝඩයක් නිර්මාණය කර ඇති අන්දම
ඉහත පරිදි ඩයෝඩ 04ක් එක් කර ගැනීම මගින් හෝ මෙම කාර්යය සදහාම විශේෂයෙන්ම නිපදවා ඇති පින් 04ක් සහිත ඩයෝඩ 04ක එකතුවක්ද මේ සදහා භාවිතා කළ හැකිය. එය බ්‍රිජ් ඩයෝඩය හෝ බ්‍රිජ් රෙක්ට්ෆයරය යන නාමයන්ගෙන්ද හැදින්වේ. එදිනෙදා අප භාවිතා කරන බොහෝමයක් ඉලෙක්ට්‍රොනික් උපාංගයන් තුළ මෙන්ම රථවාහන විදුලි සැපයුම තුළද මෙවැනි Bridge Diode දැකිය හැකිවේ.
පරිඝණකයක විදුලි සැපයුම තුළ ඇති බ්‍රිජ් ඩයෝඩය.
ඩයෝඩයක අගය හදුනා ගැනීම සදහා විශේෂිත වූ අංකික ක්‍රමයක් හෝ වර්ණ සටහන් ක්‍රමයක් යොදා ගන්නා අතර අදාල අංකය හෝ වර්ණය ඩයෝඩය මත මුද්‍රණර කර තිබේ. සාමාන්‍යයෙන් ඒ.සී. ධාරාවක් ඩී.සී ධාරාවක් බවට පරිවර්ථනය කරගැනීමට IN4000  සහ  IN5000 කාන්ඩයේ ඩයෝඩයන් යොදාගනු ලබන අතර ඒ.ඒ. ඩයෝඩයකට දැරිය හැකි උපරිම ධාරාවක් සහ වෝල්ටීයතා අගයක් දක්නට ලැබේ. බහුලවම භාවිතා වන ඩයෝඩයක් කීපයක අංකයන් හා ඒවයේ දත්ත විස්තර දකුණුපස වගුවේ සදහන් වේ.මෙහි සදහන් ඩයෝඩයන් සියල්ලක්ම පාහේ ඉලෙක්ට්‍රොනික් වෙළදසක් මගින් ලබාගත හැකි අතර රු.5 සිට ඉහළ අගයන් දක්වා මිළ නියම වේ. දරාගත හැකි ධාරාව හා වෝල්ටීයතාවය අනුව මිළ ගනන්ද වෙනස් වේ.
Posted in Uncategorized | 4 Comments

ධාරාවේ ගමන් මග පාලනය කරන මාර්ග බාධකය, ඩයෝඩය හදුනා ගනිමු…

තාක්ෂණික ලිපි ලියන්නේ නැතිව සුරංගනා කථා කියන්න පටන් අරගෙන කියලා කට්ටිය බනින්න අරගෙන. සුරංගනා කතාත් තියෙන්න එපැයි නේද? කොහොම වුනත් කමක් නෑ මම පසුගිය ලිපියේ ඉදිරිපත් කරලා තිබ්බ පරිපථයේ ඩයෝඩ් කීපයක් පාවිච්චි කරලා තිබ්බා ඔබට මතක ඇති. ඉදින් අද අපි ඩයෝඩය ගැන ටිකක් කථා කරමු. මාතෘකාවේ තියෙනවා වගේම ඩයෝඩයක මූලික කාර්යය භාරය වෙන්නේ නම් ධාරාවේ ගමන් දිශාව පාලනය කරන එක තමයි. එක් දිශාවකට විතරක් යන්න පුලුවන් මහා මාර්ග තියෙන්නේ. අන්න ඒ වගේ තමයි ඩයෝඩයත්. ඩයෝඩයක් හරහා ධාරාවට ගමන් කරන්න පුලුවන් එක් දිශාවකට පමණයි. 
ඩයෝඩයක තියෙන්නේ අග්‍ර දෙකක් විතරයි. ඒ අග්‍ර ඇනෝඩය සහ කැතෝඩය යනුවෙන් හැදින්වෙනවා. ඒත් භාවිතාවේදී ඇනෝඩයට (+) අග්‍රය කියලත්, කැතෝඩයට (-) රිණ අග්‍රය කියලත් හැදින්වෙනවා. ඇනෝඩයට විදුලි සැපයුමක ධන විදුලියත් කැතෝඩයට රිණ විදුලියත් ලබා දීලා ඩයෝඩය හරහා ධාරාව ගමන් කිරීමට සැලස්වීම ඉලෙක්ට්‍රොනික භාෂාවෙන් පෙර නැඹුරුව කියලා හදුන්වන අතරම, ඇනෝඩයට විදුලි සැපයුමක රිණ විදුලියත් කැතෝඩයට ධන විදුලියත් ලබා දීලා ඩයෝඩය හරහා ධාරාව ගමන් කිරීමට බාධා පැමිණවීම පසු නැඹුරුව යනුවෙනුත් හැදින්වේ.
පසු නැඹුරුව
පෙර නැඹුරුව
ධාරාවේ ගමන් දිශාව පාලනය කිරීම මූලික කාර්යය වූවත්, අධි සංඛ්‍යාත ගුවන්විදුලි තරංග, ශ්‍රව්‍ය සංඛ්‍යාත තරංග බවට පත් කිරීමට, ප්‍රත්‍යාවර්ත විදුලි ධාරා සරල ධාරා බවට පත් කිරීමට, කිසියම් නිශ්චිත වොල්ටීයතාවයක් ස්ථාවරව ලබාගැනීම සඳහාත්, ආලෝක සංවේදී විදුලි ස්විචයක් ලෙසද යනාදී වශයෙන්  විවිධ කාර්යයන් සදහා යොදාගැනෙන විශේෂිත  වූ  ඩයෝඩයන් භාවිතාවේ පවතී. එක් වර්ගයක ඩයෝඩයක් භාවිතා කළ හැක්කේ විශේෂිත වූ එක් කාර්යයකට පමණක් වන අතර  ඒ ඒ වර්ගයන් අනුව ඩයෝඩයේ සංකේතයද පහත පරිදි වෙනස් වේ.
අවශ්‍ය වන පරිදි ඉදිරි ලිපි මගින් ඒ ඒ වර්ගයේ ඩයෝඩයන් සහ ඒවායේ කාර්යාභාරය සම්බන්ධව සවිස්තරාත්මක හැදින්වීමක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
Posted in ඩයෝඩ, Diodes | 2 Comments

එෆ්.එම්. රේඩියෝවක් ඔස්සේ දුරකථන සංවාදයන්ට සවන් දෙන්න…

මාතෘකාව දැක්ක ගමන් මොකද හිතෙන්නේ. කාගේ හරි දුරකථන සංවාදයකට සවන් දෙන්න ඇත්නම් කියලද? අනවසරයෙන් අනුන්ගේ දුරකථන සංවාදවලට සවන්දෙන්න යන්න නම් එපා. අද මම ඉදිරිපත් කරන්න යන පරිපථය බොහොමයක් වෙලාවට ඔය අධ්‍යාපන ප්‍රදර්ශන වලදී එහෙම දකින්න පුලුවන් දෙයක්. රැහැන් සහිත දුරකථන මාර්ගයක් ඔස්සේ සිදුවන සංවාදයක් මේ පරිපථය උපයෝගී කරගෙන එෆ්.එම්. රේඩියෝවක නිශ්චිත සංඛ්‍යාතයක් ඔස්සේ ශ්‍රවණය කර ගන්න පුලුවන්. 
මේ පරිපථයේ තිබෙන විශෙෂත්වය තමයි මෙම පරිපථය ක්‍රියාකාරී වීම සදහා වෙනම විදුලිය සැපයුමක් ලබා නොදිය යුතු වීම. රැහැන් දුරකථන වල තිබෙන විදුලි සැපයුමෙන්ම මෙම පරිපථයටත් විදුලිය ලබා දිය හැකියි. මෙය ක්‍රියාකරන්නේ සරල එ.එම්. ට්‍රාන්ස්මීටරයක් ලෙස. සාමන්‍යයෙන් මීටර්. 100 පමණ දුරක සිට මෙම පරිපථය ඔස්සේ ලබා දෙන සංවාදයන්ට සවන් දිය හැකියි. එමෙන්ම ට්‍රාන්ස්මීටරයන්හි පොදුවේ දක්නට ලැබෙන කන්ඩෙන්සර් මයික් එකක්ද මෙහි දක්නට ලැබෙන්නේ නැහැ. මෙහි භාවිතා කරන ට්‍රාන්සිස්ටරය රු.3ක් වැනි මුදලකට වෙළදපොලෙන් ලබා ගත හැකියි.

 මෙහි ඒරියලය ලෙස (L2) සෙ.මී. 4-10 අතර වයර් කැබැල්ලක් යොදා ගතහැකි අතර කොයිලය (L1) ලෙස අර්ත් වයරක ඇති එක් කම්බි පොටක් බෝල්පොයින්ට් පෑනක ප්ලාස්ටික් බටය වටා වට 04 1/2 පමණ ඔතාගෙන සකසා ගන්න. IN 4004 ඩයෝඩ් 04ක් Bridge Rectifier ලෙස යොදා ගත හැකිය. 

 

 දුරකථන සංවාදයක් පැවතෙන අතරතුර මෙහි යොදා ඇති එල්.ඊ.ඩී බල්බය දැල්වෙන අතර එෆ්.එම්. තරංග 88-92 අතර සුසර කර මෙමගින් ලැබෙන සංවාද වලට සවන් දෙන්න. කොයිලය සීරු මාරු කිරීමේන් විකාශය වන සංඛ‍යාතය වෙනස් කරගත හැකිය. මෙම පරිපථය වෙළද හෝ අධ්‍යාපනික ප්‍රදර්ශනයන්හීදී සජීවී දුරකථනය සංවාදයන් ඔස්සේ ක්‍රියාත්මක වන එම්.එම්. විකාශයක් ලෙසද යොදා ගත හැකිය.

Posted in ඉලෙක්ට්‍රොනික, Electronic Project, FM Transmeter, Telephone Recorder | 10 Comments

කැන්ටෙනාවකින් HSDPA සිග්නල් වැඩි කර ගන්න බලමුද?

නවීන තාක්ෂණය භාවිතා කිරීමේ නැඹුරුව ගැන සලකල බැලුවම ශ්‍රි ලංකාව ආසියාවේ අනිකුත් රටවලට වඩා යම් තරමකින් ඉදිරියෙන් ඉන්න බව අපි කවුරුත් දන්න කාරණයක්. 1989 දී දකුණු ආසියාවේම ප්‍රථම ජංගම දුරකථන ජාලය දියත් කලා වගේම, 2006 දී දකුණු ආසියාවේම ප්‍රථම ජාලය දියත් කලෙත් ශ්‍රි ලංකාවේම තමයි. ඒ අතින් අපි සෑහෙන්න වාසනාවන්තයි.  ඒත්  HSDPA තාක්ෂණය භාවිතා කරන අයට තියෙන ලොකුම ගැටලුවක් තමයි මේ සිග්නල් මදියි කියන ගැටලුව. ඇත්තටම සංඥා ග්‍රහනය කර ගන්නව කියන එක ඒ ඒ කාල වකවානු වල අපිට ඇතිවෙන තාවකාලික ගැටලුවක් පමණක් කියන එකයි මගේ අදහස නම්. මොකද අතීතය ටිකක් ආවර්ජණය කරලා බැලුවොත් ඔබේ මතක් වෙයි ඒ.එම් රේඩියෝ චැනල් විතරක් තිබුන කාලේ අපි කොයි තරම් දේවල් කලාද චැනල් එක හරියට ග්‍රහණය කර ගන්න. ඊට පස්සේ වී.එච්.එෆ් විතරක් තියෙන රූපවාහිණි ආව. ඒත් එහෙමයි ඇන්ටනා හදල ඉවරයක් නැහැ. ඊ.ට පස්සේ යූ.එහ්.එෆ් ඔස්සේ චැනල් එකක් විකාශනය වෙන්න පටන් ගත්තේ ඒකටම හදාපු ඇන්ටනාවකුත් විකුණගෙනමයි. ඉතින් වර්තමානය වෙනකොට ඔය මම කලින් කියපු ගැටලු බොහොමයක් විසදිලා හමාරයි. නමුත් මේ HSDPA සිග්නල් මදියි කියන ගැටලුව නම් තාමත් විසදිල නැති නිසා මම කල්පනා කලා මේ සම්බන්ධයෙන් යම් තරමකට හෝ පිලියමක් යොදන්න පුලුවන්ද කියන එක ගැන. සාමාන්‍යයෙන් රූපවාහිණි ඇන්ටනා හදන්නේ යම්කිසි සංඥා කලාපයක් ඉලක්ක කරගෙන. නමුත් GSM, HSDPA වගේ සේවාවන් වලදී මේ දේ වෙනස් . GSM වලදී සංඥා විසුරුවා හරින්නේ 900MHZ හෝ යන 1800MHZ සංඛයාත දෙකේ පමණයි. ඒ වගේම 3G වලදී සංඥා විසුරුවා හරින්නේ 2100MHZ කියන සංඛයාතය ඔස්සේ.
ඔය කැන්ටනාව (Cantenna) කියන වචනය අපට ටිකක් නුපුරුදු එකක් වුනාට ලෝකයේ අනිත් රටවල් වල නම් බොහෝම ප්‍රසිද්ද එකක්. ඉවත දමන බියර් කෑන් එකක් වගේ සිලින්ඩරාකාර ද්‍රව්‍යයක් උපයෝගී කරගෙන නිර්මාණය කරගන්න පුලුවන් ඉතා සරල සංඥා ග්‍රාහකයක් තමයි මේ කැන්ටනාව (Can + Antenna) යන නමින් හදුන්වන්නේ. කැන්ටනාව නිපදවලා තියෙන්නේ 2400MHZ ඔස්සේ Wi-Fi Signals ග්‍රගණය කරගන්න. මෙවැනි කැන්ටනාවක් මගින් Signal Strength එක 10dBi පමණ ප්‍රමාණයකින් ඉහළ නංවාගන්න හැකිබව එය වාණිජමය වශයෙන් නිශ්පාදනය කරන ආයතනය සදහන් කරනවා. මේ වගේ  සංඛ්‍යාතයක් කොහොමද මේ ටින් එකක් හරහා ග්‍රහණය කරගන්නේ කියන එක පහත තියෙන රූපසටහනෙන් මනාව පැහැදිලි කරගන්න පුලුවන්.  
ඇන්ටනාවක් නිර්මාණය කිරීමේදී මුලින්ම සැලකිය යුතු කාරණය නම් එහි සංඛ්‍යාතයයි. මෙහිදී සංඛ්‍යාතය 2100Mhz. අනතුරුව සංඛ්‍යාතයට අදාල තරංග ආයාමය සොයාගතයුතුයි. එය පහත සමීකරණය මාර්ගයෙන් සොයා ගත හැකියි.
තරංග ආයාමය මීටර් වලින් 0.14275ක්. ඒ කියන්නේ සෙන්ට්මීටර් නම් 14.27ක්. ඉතින් මම මේ විස්තර කරන්න යන කැන්ටනාව හදාගන්න මෙන්න මේ හොයාගත්ත තරංග ආයාමය පහත පරිදි යොදා ගත යුතු වනවා.
එසේ නම් මේ සදහා අපට අවශ්‍ය වනවා මිමි 71 පමණ විශ්කම්භයකින් යුත් එලෙසම මිමි 107 කට වඩා දිගින් යුත් සිලින්ඩරයක්. ආහාර සහ බීම වර්ග ඇසුරුම් කර ඇති ටින් ලෝහයෙන් නිමවූ කෑන් එකක් මේ සදහා හොදින්ම ගැලපෙනවා. මි.මි 71ක් නම් ප්‍රථිපල 100% ක්ම හොදයි. ඒත් මම නම් උත්සාහ කරල බැලුවේ මි.මි. 68ක් පමණ විශ්කම්භයකින් යුත් කෑන් එකක් භාවිතාකරගෙන. එලෙස කෑනයක් සොයාගත් පසුව කල යුත්තේ කෑන් එකේ එක් පසක ඇති වැස්ම සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීමයි. නමුත් කෑනයේ අනෙක්පස වැස්ම එලෙසම තිබිය යුතු වනවා. දැන් ඔබ කල යුත්තේ වැස්ම ඉවත් නොකල පැත්තේ සිට හරියටම මි.මි. 36ක දුරින් සිදුරක් විද ගැනීමයි. 
මෙම සිදුර 3/8″ විශ්කම්භයකින් වියයුතු අතර එම සිදුරේ හරි මැද සිට ටින් එකේ වැස්මට ඇති දුර මිමි.36ක් වීම නම් ඉතාමත්ම වැදගත්. දැන් ඔබ කළ යුත්තේ මේ සිදුර විදගත් ස්ථානයේ RF Female Antenna Socket එකක් සවිකර ගැනීමයි. මේ සදහා Super Glue වැනි ගම් වර්ගයක් වුවද භාවිතා කළ හැකිය. මෙම සොකට් එක සවිකර ගැනීමේදි ඉහතින් මා සදහන් කල මිමි.36 දුර ගැන ඉතා සැලකිලිමත් විය යුතුය.සොකට් එක සවි කර ගැනීමෙන් පසු එහි ජැක් එක සවිවන සිදුරට තඹ කම්බියක් සවිකරගත යුතු අතර එහි කෙළවර සිට ටින් එකෙ පතුළත ඇති දුරද මිමි 36ක් විය යුතුය. මෙම  සොකට් එකට 50ඕම්ස් ඇන්ටනා කේබල් එකක් සවිකරගත යුතු අතර කේබලයේ අනිත් කෙලවර ඔබේ මොඩෙමයේ ඇන්ටනාවක් සවි කරගත හැකි ස්ථානයට සම්බන්ධ කළ යුතුය. මේ සදහා අවශ්‍ය වන Jack එකක් සොයා ගැනීම නම් එතරම් පහසු වෙන්නේ නැත. එනිසා කේබලයේ කෙළවර මොඩෙමයේ ඇන්ටනා සොකට් එකට සවි කර ගැනීම සදහා තාවකාලික උපක්‍රමයක් යෙදීම වුවද සෑහේ. Wi-Fi  සදහා යොදා ගන්නා මෙවැනි කැන්ටෙනාවක් 45$ පමණ වන නමුත් එය මගින් HSDPA Signal (2100Mhz) ඉහළ නැංවීමේ හැකියාවක් නොමැත. තවද මෙය පරීක්ෂා කර බලා ඔබේ ප්‍රතිඵල කමෙන්ට් එකක් ලෙස Post කරන්න. එලෙසම මෙය නිවැරදිව සකසා ගැනීමෙන් ඔබට දැනට ලැබෙන Signal ප්‍රමාණය 8dbi පමණ ඉහළ නංවාගත හැකිය. මෙය මාගේ සොයාගැනීමක් නොවන අතරම අන්තර්ජාලය තුල මේ සම්බන්ධව විස්තර ලබාගැනීමේ හැකියාව ඇත. එනමුත් බොහොමයක් වෙබ් අඩවි වල දක්වා ඇත්තේ 2400Mhz ඔස්සේ එන Wi-Fi Signals වර්ධනය කරගන්නා ආකාරයයි. ඔබ දැනට භාවිතා කරන මොඩෙමයට ඇන්ටනාවක් සවි කිරීමට හැකියාවක් නොමැති නම් මොඩෙමය අසලට කේබලය ගෙනගොස් Signal Strength එකේ වෙනසක් වේ දැයි පරීක්ෂා කර බලන්න. කිසිදු විටක මොඩෙමයේ ප්ලාස්ටික් ආවරණ ගැලවීමට යොමු නොවන්න.
Posted in 3g Signal, ඉලෙක්ට්‍රොනික, Cantenna, Hsdpa | 12 Comments

කාර් ඔඩියෝ සෙට් එකෙන්, ලංකාවේ චැනල් ටියුන් කරන්න බැරිද? මෙන්න විසදුම…

ලංකාවට ජපානයෙන් ආනයනය කරන සමහර වාහන වල තියෙන ඔඩියෝ සෙට් එකෙන් අහන්න පුලුවන් වෙන්නේ ලංකාවේ ප්‍රචාරය වන රේඩියෝ චැනල් වලින් එක චැනල් එකක් විතරයි. බොහෝවිට ඒ එෆ්.එම්. මෙගාහර්ට්ස් 88.5 ඔස්සේ විකාශය වන ලක් හඩ චැනල් එක. ඉතින් සමහර බස් වල එහෙමත් ගමනාන්තය වෙනකන්ම ඇහෙන්නේ ඔය චැනල් එක විතරයි. ඒ චැනල් එක ඕනිම තැනකට ඒරියල් එකක් නැතුව වුනත් ටියුන් වෙන එකත් එක හේතුවක්. ඒත් අනිත් හේතුව තමයි ඒ කාර් ඔඩියෝ සිස්ටම් එක ටියුනින් වෙන්නේ එෆ්.එම් මෙගාහර්ට්ස් 76 – 90 පමණක් වීම.ඉතින් අද මම කියන්න යන්නේ මෙන්න මේ වගේ කාර් ඕඩියෝ සිස්ටම් එකකින් ලංකාවේ විකාශණය වන රේඩියෝ චැනල් අහන්න පුලුවන් ක්‍රමයක් ගැන. කෙටියෙන්ම කිවුවොත් එෆ්.එම්. මෙගාහර්ට්ස් 76-90 විතරක් තියෙන රේඩියොවකින් එෆ්.එම්. මෙගාහර්ට්ස් 88-108 ශ්‍රවණය කරන්න පුලුවන් ඉතා පහසු විසදුමක් ගැන.
FM කන්වර්ටරය
ඉහත රූප සටහනින් දිස්වන්නේ එෆ්.එම්. කන්වර්ටර් සර්කිට් එකක්. මේ වර්ගයේ සර්කිට් එකක මිළ රු.200/= පමණ වන අතර ඉතා පහසුවෙන් අප දැනට භාවිතා කරන කාර් ඕඩියෝ සිස්ටම් එකට සවි කර ගන්න පුලුවන්. මේ රූපයේ ඔබට රතු පැහැති වයරයක් දිස්වනවා නේද? අන්න ඒ වයරය හරහා 12වෝල්ට් ධන විදුලියට සම්බන්ධ කළයුතු වනවා. වාහනයේ ෆියුස් බෝර්ඩ් එකේ තියෙන අමතර ෆියුස් එකක් හරහා මෙය කළ හැකියි. නමුත් සම්බන්ධ කිරීමට කලින් වෝල්ට් මීටරයක් මගින් පරීක්ෂාකිරීම වඩාත් යෝග්‍යයි. අනතුරුව ඔබ කළ යුත්තේ අදාල කාර් ඕඩියෝ සිස්ටම් එකට සවි වී ඇති ඇන්ටනා කේබලය ගලවා මෙම පරිපථයේ ඇති ඇන්ටනා සොකටය වෙත සවි කිරීමයි. ඉන්පසුව මෙම පරිපථයේ ඇති ඇන්ටනා ජැක් එක කාර් ඔඩියෝ සිස්ටම් එකේ ඇන්ටනා සොකටය වෙත සවි කරගන්න. දැන් වාහනයේ ඕඩියෝ සිස්ටම් එකේ රේඩියෝව ටියුන් කර බලන්න. එම්. එම්. මෙගාහර්ට්ස් 88 සිට 108 ඇති සියලුම චැනල් ශ්‍රවණය වනවා ඇති. කිසිදු අමතර ඝෝෂාවක් හෝ ශබ්ද රසයේ බාල වීමක්  මෙම පරිපථය නිසා සිදුවන්නේ නැහැ. මෙමගින් සිදුවන්නේ Frequency Change එකක් පමණයි. මෙම කන්වර්ටරය මා පෞද්ගලිකව අත් හදා බැලූ අතර මෙහි ඇති පරිපථය එහි කේසින් එකෙන් ඉවත් කර ඕඩියෝ සිස්ටම් එක තුළටම සවිකරනු ලැබුවා. එසේ කිරීමේදී ඕඩියෝ සිස්ටම් එක තුලින්ම මෙම පරිපථයටත් + 12V ලබා දිය හැකියි.
FM කන්වර්ටරය Car ඕඩියෝ සිස්ටම් එකට සවිකළ පසු
Posted in car audio, fm converter | 13 Comments

ඔපරේෂන් Astable Muiltivibrator

නම නම් ටිකක් අමුතුයි වගේ නේද? රණවිරුවන් යුද්දේ සහමුලින්ම ඉවර කරපු එකේ ආයිත් මොන ඔපරේෂන් එකක්ද මේ? බය වෙන්න එපා මම මේ විස්තර කරන්න යන්නේ මීට කලින් ඉදිරිපත් කළ ලිපියකින් හදුන්වා දුන් එල්.ඊ.ඩී දෙකක් මාරුවෙන් මාරුවට දැල්වෙන පරිපථයේ සිදුවන ක්‍රියාවලිය ගැනයි.  මේ පරිපථය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ බව කිවයුතුයි. ඇත්තෙන්ම මේ පරිපථයෙන් ඉටු වන්නේ ඉතා සුලු කාර්යයක් වුවත් ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්‍රයට පා  තබන්නෙකුට මෙමගින් ඉගෙනගත හැකි දෑ බොහෝමයි. මෙම පරිපථය මුලින්ම නිමවූයේ වෑල්ව් උපයෝගී කරගෙන වන අතර එහිදී මෙම පරිපථයේ මෙන් කැපෑසිටර් යොදා ගැනුනේ නැහැ.  ඉතින් ඔබ මීට කලින් මෙම පරිපථය අත් හදා බලා නැත්නම් මා නැවතත් ඔබට ආරධනා කර සිටිනවා විනෝදයට මෙන් මේ පරිපථය ප්‍රායෝගිකව එක ලස් කර බලන මෙන්. මා දැන් සාකච්චා කිරීමට බලපොරොත්තු වන්නේ ඉහත ලිපියෙන් මා විස්තර කළ පරිපථය ක්‍රියාත්මක වීමේදී සිදු වන ක්‍රියාවලිය කුමක්ද යන කාරණය සම්බන්ධවයි.
එම පරිපථයේ ට්‍රාන්සිස්ටර් දෙකක්, රෙසිස්ටර් දෙකක්, කැපෑසිටර් දෙකක් සහ එල්.ඊ.ඩී දෙකක් දක්නට ලැබුණු බව ඔබට මතක ඇති. සරලව ගතහොත්, ට්‍රාන්සිස්ටරයක් සංඤා වර්ධකයක් හෝ ඉලෙක්ට්‍රොනික් ස්ව්චයක් ලෙසත්, කැපෑසිටරයකට තාවකාලිකව විදුලිය ගබඩා කරගත හැකි බවත්, රෙසිස්ටරයක් මගින් ධාරව හීන කරන බවත් මේ වනවිට අප දැනුවත් වී අවසන්.මෙම පරිපථයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව දිය හැකි සරලම උදාහරණය නම් කුඩා කළ අප විනෝද වූ සීසෝවයි. එක් අයක් පහලට වෙර යොදන විට අනෙකා නිතැතින්ම ඉහලට එසෙවන බවත් පහලට වෙර යොදන්නාගේ ආයාසය ක්ෂය වන විට ඔහුව ඉහලට එසවෙන ලෙසත් සීසෝව සකසා තිබෙන්නේ. මෙම පරිපථය ගත් කළද මෙහි සමාන යුගල 02ක් තිබෙන බව දැනටමත් අප දන්නවා. 10K රෙසිස්ටරයත්, 100uF කැපෑසිටරයත්, BC547B ට්‍රාන්සිස්ටරයත් එහි කලෙක්ටරයට ඈදා තිබෙන එල්.ඊ.ඩී යත් එක් යුගලයක් ලෙස ගත හැකියි.
 ට්‍රාන්සිස්ටර් දෙකේම එමීටර් අග්‍රයන් රිණ විදුලියට සම්බන්ධව ඇති අතර කලෙක්ටර් අග්‍රයන් සම්බන්ධව ඇත්තේ එල්.ඊ.ඩී. වල රිණ අග්‍රයන්ටයි. එලෙසම පරිපථයේ ධන විදුලියට සම්බන්ධිත රෙසිස්ටර් දෙක වෙන් වෙන්ව පරිපථයේ ඇති වර්ගයේ කැපෑසිටර් වලට සම්බන්ධ වී තිබෙනවා. මෙම පරිපථයට විදුලිය ලද වහාම අදාල රෙසිස්ටර් දෙක හරහා ලැබෙන හීන වූ ධාරාව හේතුවෙන් ඒවාට සම්බන්ධිත Electrolytic Capacitor ආරෝපණයක් වීම සිදුවනවා. (X) මෙම ආරෝපනය හේතුවෙන් මෙයින් එක් Electrolytic Capacitor යක් (C2) එහි උච්ච ආරෝපණ මට්ටම දක්වා පැමිණෙන අතර එහිදී එම කැපෑසිටරය එහි අනෙක් අග්‍රයට සම්බන්ධව ඇති ට්‍රාන්සිස්ටරයේ (Q1) බේසය වෙත 0.8v  පමණ වන වෝල්ටීයතාවයක් නිකුත් කරනවා. එසේ ධාරාවක් ලැබීම හේතුවෙන් එම ට්‍රාන්සිස්ටරය ස්ව්චයක් මෙන් ක්‍රියාත්මක වී එහි එමිටරයට ලැබී ඇති රිණ විදුලියත් කලෙක්ටරයට  සම්බන්ධවී ඇති එල්.ඊ.ඩීයේ ධණ අග්‍රයට ධන විදුලිය නිරන්තරයෙන් ලැබී තිබීම හේතුවෙන් එම යුගලයට අදාල පරිපථය සම්බන්ධ වනවා. මෙහිදී එම එල්.ඊ.ඩීය (D1) සුලු මොහොතකට දැල්වී තිබෙනවා. 
Q1 වෙත 0.8v ලැබී ඇති විට
 නමුත් සැනෙකින් නිවී යනවා. මන්ද එයට අදාල ට්‍රාන්සිස්ටරයේ බේස් අග්‍රයට විදුලිය සපයන Electrolytic Capacitor  එක (C2) ක්‍රම ක්‍රමයෙන් විසර්ජනය වීම හෙතුවෙන්. නමුත් මෙහිදී මෙම ට්‍රාන්සිස්ටරයේ  (Q1) කලෙක්ටර් අග්‍රයෙන් විදුලිය සපයන තාක් කල් එයට සම්බන්ධිත කැපෑසිටරය (C1) ආරෝපනය වන අතරම මෙතෙක් මා විස්තර කල ක්‍රියාවලිය (X සිට) අනෙක් යුගලයේ සිදු වීමට පටන් ගන්නවා. 
Q2 වෙත 0.8v ලැබී ඇති විට
මෙම ක්‍රියාවලිය විදුලිය ලබා දී තිබෙන තාක් කල් නොකඩවා සිදු වන අතර එහිදී මාරුවෙන් මාරුවට එල්.ඊ.ඩී දෙක දැල්වීම සිදුවනවා. තවද මෙම පරිපථයට භාවිතා කරන කැපෑසිටර් වල සහ රෙසිස්ටර් වල අගයන් වෙනස් කිරීම මගින් මේ ක්‍රියාවලිය වේගවත් හෝ මන්දගාමි කල හැකියි. එසේම එල්.ඊ.ඩී යේ ධන අග්‍රය රෙසිස්ටරයක් හරහා පරිපථයට සම්බන්ධ කිරීම මගින් එල්.ඊ.ඩීයට සැපයෙන ධාරාවද පලනය කළ හැකියි. එනම් රෙසිස්ටරයක් යෙදීම මගින් වැය වන ධාරාව අඩු කල හැකි අතරම දීප්තියද අඩු වනවා. මෙම පරිපථය Astable Muiltivibrator ලෙස හදුන්වනවා. මේ සම්බන්ධව වැඩි විස්තර අවශ්‍ය නම් විකිපීඩියා වෙත පිවිසෙන්න.
Posted in ඉලෙක්ට්‍රොනික, LED, Muiltivibrator | 8 Comments

ඉලෙක්ට්‍රොනික් සමග හාද වූවන්ගෙන් පිරීයන පිටකොටුවේ පළවන හරස් වීදිය….

රස නහර පිනා යන කජු වලට කජුගමත්, රෙදිපිළි වලට පිටකොටුවේ ප්‍රධාන වීදියත්, රථවාහන අමතර කොටස් මිළදී ගන්න නම් පංචිකාවත්තත් වශයෙන්  නොයෙකුත් අවශ්‍යතාවන් වලටම ප්‍රචලිත වූ ස්ථාන, වීදී ලංකාවේ ඕන තරම් තියෙනවා. ඒ වගේම තමයි පිටකොටුවේ පළවන හරස් වීදියත්, වැඩි හරියක් තියෙන්නේ ඉලෙක්ට්‍රොනික් උපාංග විකුණන වෙළදසල්. ඉතින් මම මේ ලිපියෙන් කතා කරන්න යන්නේ ඉලෙක්ට්‍රොනික් උපාංගයක් මිළදී ගන්න පළවන හරස් වීදියට යන ඔබව රස්තියාදු නොවී ඉක්මනින් ඔබගේ අවශ්‍යතාවය ඉටු කරගන්න නම් පිලිපැදිය යුතු කරුණු කීපයක්.ඇත්තෙන්ම පළවන හරස් වීදියේ 80% විතර පිහිටල තිබෙන්නේ ඉලෙක්ට්‍රොනික් උපාංග වෙළද සල්. මේවා සියල්ලක්ම වගේ ඉරිදා දිනයන් සහ පෝය දිනයන් හැරුන කොට අනුකුත් දින වනදී විවෘතවෙලා තියෙනවා. ඒ වගේම උදේ 10.00 සිට සවස 6.00 පමණ වන තෙක් මේවා විවෘතවෙලා තියෙනවා. දහවල් 12.00 වගේ ඉදල මේ වෙළදසල් සියල්ලක්ම පාහේ ඉතා කාර්යයබහුල වනවා. 
මේ නිසා යම්කිසි උපාංගයක් මිළදී ගන්න යන ඔබ අදාල උපකරණයන්ගේ ලැයිස්තුවක් සකස් කරගෙන යනවා නම් කාර්යය වඩාත් පහසු වනවා. නමුත් පළපුරුදු අය නම් උපාංග ලැයිස්තුවම කටපාඩමින් තමයි ඉල්ලන්නේ. ඒ වගෙම ඔබ දැනගත යුතු තවත් කරුණක් තියෙනවා. එනම් බොහොමයක් උපාංග මිළ ගනන් 2ක් යටතේ අලෙවි වනවා. වෙනස තමයි එකක් ජපන් රටේ නිශ්පාදිතයක් වීමත්, අනික චීනයේ නිශ්පාදිතයක් වීමත්. ඉතින් කොයි දේ මිළදීගන්නවාද යන්න තීරණය කිරීම ඔබ සතුයි.උදාහරණයක් විදියට බල වර්ධක සදහා යොදා ගන්නා STK 4191 කියන IC එකේ චීන නිෂ්පාදිතයේ මිළ රු.450ක් පමණ. නමුත් එම IC එකේම  ජපන් නිෂ්පාදිතයේ මිළ රු. 1500ක් පමණ වනවා. තත්වයෙන් උසස් ඒ වගේම කල්පැවැත්ම වැඩි ජපන් නිශ්පාදිතය තමයි. තවත් කරුණක් තමයි ඔබ ලබා ගැනීමට බලපොරොත්තු වන උපාංගය වෙළදසල් කීපයකම නොමැති බව පවසා සිටිනවා නම් ඔබට ඒ උපාංගයට සමාන ක්‍රියාකාරීත්වයෙන් යුත් වෙනත් උපාංගයක් ලබා ගැනීමේ හැකියාවත් තිබෙනවා. බොහොමයක් ට්‍රාන්සිස්ටර් වලට අදාල වන දත්ත විස්තර මොවුන් ලග තිබෙනවා. ඒ නිසා එවැනි දත්ත පොතක් මගින් සමාන උපාංගයක් සොයාදීමටත් මේ වෙළදසැල් හිමියන් මැලි වන්නේ නැහැ. 
ඒ වගේම තමයි ඔබ යම් විශෙෂිත වූ පරිපථයක් එකලස් කරගැනීමට අදහස් කරනවා නම් එයට අදාල වන මුද්‍රිත පරිපථ පුවරුවත් මේ වෙළදසැලකින්ම ලබා ගත හැකි වනවා. එය ඔබටම නිර්මාණය කර ගත හැකි ආකාරය මා ඉදිරියේදී පැහැදිලි කිරීමට අදහස් කරනවා. නමුත් උපාංග තරමක් වැඩි පරිපථයක් නම් මුද්‍රිත පරිපථපුවරුවක් මිළදී  ගැනීම වඩාත් පහසු වනවා. මා පහතින් සදහන් කරන්නේ පළවන හරස් වීදියේ තිබෙන ඉලෙක්ට්‍රොනික් උපාංග අලෙවි කරන වෙළද සංකීර්ණ කිහිපයකට අදාල විස්තරයි.
NEC Electronic Building,
පිහිටා තිබෙන්නේ පළවන හරස් වීදියේ තිබෙන මහජන බැංකු ගොඩනැගිල්ල ඉදිරිපිටින්. අතුල ට්‍රේඩින් යන නම්න් තිබෙන පුවරුව සමගම තිබෙන කුඩා ඇතුල්වීමේ දොරටුවෙන් ඇතුල්විය හැකියි. මෙහි මහල් 4ක් පුරාවටම පිහිටා තිබෙන්නේ ඉලෙක්ට්‍රොනික් උපාංග අලෙවිසැල්. 
Trans Asia Building,
මෙහි මහල් 3ක් පුරාවටම පිහිටා තිබෙන්නේ ඉලෙක්ට්‍රොනික් උපාංග අලෙවිසැල්. 
Asia Electronic
පළවන හරස්වීදියට බැස්ටියන් මාවතින් ඇතුල්වන ස්ථානයට ආසන්නවම පිහිටා තිබෙන්නේ. 
මෙන්න මැප් එක

Micro Electronic
පිහිටා තිබෙන්නේ පළවන හරස් වීදියේ. ඕනිම ඉලෙක්ට්‍රොනික් උපාංගයක් ගන්න පුලුවන්. එයාලා ගාව නැත්නම් Import කරලා හරි ගෙනත් දෙනවා.
මෙන්න මැප් එක

Posted in Electronic Shops Sri lanka, Main Street | 7 Comments

HSDPA මන්දගාමීද? එහෙනම් 3G මොඩමයට ලැබෙන සංඤා වල dBm අගය පරීක්ෂා කරගන්න….

3G මොඩම් හරහා අන්තර්ජාලය හා සම්බන්ධ වන බොහෝ දෙනෙක් මුහුණපාන ගැටළුවන් තමයි බලාපොරොත්තු වන තරමේ දත්ත සම්ප්‍රේෂණ වේගයක් නොලැබීම. මේ සම්බන්ධයෙන් අප බොහෝ විට ඇගිල්ල දික් කරන්නේ අදාල සේවාව ලබාදෙන දුරකථන සමාගම වෙතයි. එනමුත් මේ සදහා බලපාන තවත් ප්‍රභලම හේතුවක් වන්නේ අප පාවිච්චිකරන මොඩෙම් එකට ලැබෙන සංඤා ප්‍රමාණය දුර්වල මට්ටමක පැවතීම. අන්තර්ජාලය හා සම්බන්ධ වීමට අප භාවිතා කරන මෘදුකාංග මගින් මෙම සංඤාවන්හි ප්‍රභලතාවය ඩෙසිබල් අගයක් ලෙස ලබා ගැනීමේ හැකියාව බොහෝවිට පෙන්නුම් කරන්නේ නැහැ.මේ ලිපියෙන් විස්තර කරන්න බලාපොරොත්තුවන්නේ අප පාවිච්චි කරන මොඩෙමයට ලැබෙන සංඤා ප්‍රමාණය නිවරදිව ගණනය කරන අයුරු සහ ලැබෙන සංඤා වල අගය අනුව දත්ත සම්ප්‍රෙෂණ කාණ්ඩය වර්ගීකරණය ආකාරය ගැනයි.

මීට ඉහත ලිපි කීපයක් මගින් වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේම තිබෙන මෙවලමක් වන Hyper Terminal ගැනත් ඒ හා සම්බන්ධ AT Commands ගැනත් සාකච්චා කලා ඔබට මතක ඇති. ඉතින් මම මේ විස්තරකරන්න බලාපොරොත්තු වන සංඤා ප්‍රභලතාවය හෙවත් එක මැන ගැනීම සදහාත් භාවිතා කරන්නේ එම මෙවලමම තමයි.AT+CSQ කියන විධානය Hyper Terminal හරහා ලබාදෙන්න. ඔබ දැනට අන්තර්ජාලය හා සම්බන්ධවී තිබේ නම් එම සම්බන්ධතාවය විසන්ධි කළයුතු වනවා.

 ඔබට ඉහත පරිදි හෝ ඊට සමාන පිලිතුරක් ලැබෙනු ඇති. මෙහි +CSQ: යන්නට පසුව ඇති සංඛයාව මගින් සංඤා දර්ශක අගය පිලිඹිබු කෙරෙයි. 99 යන අගයෙන් කියවෙන්නේ සංඤා දර්ශක අගයට අදාල  ERROR එක ගණනය කළ නොහැකි බවයි. පහත සදහන් වගුව පරිශීලනය කිරීම මගින් මෙම පිලිතුරට අදාල ඩෙසිබල් අගය සහ සංඤාවේ ප්‍රභලතාවය සොයා ගත හැකියි.

ඔබ ඉහතින් ලබා දුන් AT+CSQ විධානය ලබා දී Hyper Terminal විසන්ධි නොකර සිටියහොත් සංඤාවන්හි අගය වෙනස් වන අගය පහත පරිදි ලබා ගත හැකියි. මොඩෙමයේ සංඤාවල ප්‍රභලතාවයි වැඩි කර ගැනීම සදහා මොඩෙමයට යූ.එස්.බී කේබලයක් සම්බන්ධ කර මොඩෙම‍ය තබන ස්ථානය වෙනස් කරමින් ලැබෙන අගයට අදාල ඩෙසිබල් ප්‍රමාණය වෙනස් වන්නේ දැයි පරීක්ෂා කර බලන්න. මේ සදහා ඇන්ටනාවක් යොදාගැනීම සම්බන්ධව පරීක්ෂණ සිදුකරන අතර ඉදිරියේදී ඒ සම්බන්ධව සාකච්චා කරමු.

මා භාවිතා කරන හුවාවි 220 මොඩෙමයට ලැබෙන්නේද “තරමක් හොද” හෝ “සාමාන්‍ය” මට්ටමේ ඩෙසිබල් අගයක් සහිත සංඤා ප්‍රමණයක් වුවත් මොබයිල් පාට්නර් නමැති මෘදුකාංගය එහි සිග්නල් අගය ඉතා හොද බව පහත රූපසටහනේ පරිදි පෙන්නුම් කරයි. නමුත් මා අත්විදින්නේ මන්දගාමි / තරමක් හොද තත්වයේ දත්ත සම්ප්‍රේෂණ වේගයක්.

Posted in ඉල්‍රක්ට්‍රොනික්, බවුත්, සිංහල, Soldering tips | 6 Comments

බවුත් එකකින් නිවැරදිව පාස්සන හැටි ඉගෙන ගනිමුද?

බවුත් එකක් මිළදී ගැනීමේදී සැලකිය යුතු කරුණු කීපයක් සම්බන්දව මා මීට පෙර විස්තර කළා. අද මම සාකච්චා කිරීමට බලපොරොත්තු වන්නේ බවුත් එකක් ආධාරයෙන් පරිපථයක් නිවැරදිව පාස්සා ගන්නා ආකාරය ගැනයි. ඔබ නිතරම බවුත් එකේ පිරිසිදුකම ගැන සැලකිලිමත් විය යුතු වනවා. ඒ මන්දයත් බවුත් එක උණුසුම් වී ඇති අවස්ථාවක බවුත් එකේ තුඩ හෙවත් Soldering Iron Tip එක ප්ලාස්ටික් වැනි ඇලෙන සුලු ද්‍රව්‍යන් සමග   ගැටීමක් සිදුවුවහොත් දියර බවට පත්වූ ප්ලාස්ටික් කොටස් බවුත් එකේ තුඩෙහි තැවරී තිබුනහොත් ඔබට හොද පෑස්සීමක් කිරීමට හැකිවන්නේ නැහැ. එසේම තදින් රත්වූ බවුත් එකක් යොදාගෙන පෑස්සීම් කල පසුත් ඊයම් වැනි ද්‍රව්‍යය බවුත් එකේ තුඩෙහි තැවරී තිබිය හැකියි. මෙවැනි අවස්ථාවකදී පෑස්සීම් කටයුතු අවසන් කළ වහාම බවුත් එකේ තුඩ උනුසුම්ව තිබියදීම පිරිසිදු කර ගැනීම වඩාත් පහසු වනවා. බවුත් එකේ උණුසුම අඩුවූ පසුව ඊයම් වැනි දෑ බවුත් එකේ තුඩින් ඉවත් කිරීමේදී එයට හානියක් සිදුවිය හැකියි.බවුත් එකේ තුඩ පිරිසිදු කර ගැනීම සදහා ඝණකම් ස්පොන්ච් කොටසක් යොදා ගැනීම වඩාත් සුදුසුයි.
බවුත් එකක් මගින් ප්‍රායෝගිකව පෑස්සීමක් කරනා අයුරු
පරිපථයක් පෑස්සීම ආරම්භ කළ යුත්තේ අදාළ සියලුම උපාංග නිසියාකාරව එකලස් කර ගැනීමෙන් අනතුරුවයි. එසේම පෑස්සුමට ලක්වන කොටස් නිතරම පිරිසිදුව තිබියයුතුයි. වයර් කැබැලි දෙකක් එකෙනෙකට පාස්සාගැනීම උදාහරණයක් ලෙස ගතහොත් එම වයර් කැබැලි දෙකේම පෑස්සීමට ලක්වන අග්‍ර හොදින් සූරා පිරිසිදු කර ගැනීම කළයුතු වනවා.එක් අතකින් බවුත් එකද අනිත් අතින් පෑස්සීම සදහා යොද ගන්නා ඊයම් දණ්ඩද රදවා ගතයුතු බැවින් පෑස්සීමට ලක්කරන පරිපථය නොසෙල්වන සේ තබා ගැනීමටද උපක්‍රමයක් යෙදිය යුතු වනවා. මේ සදහාද රදවනයක් සාදා ගැනීම වඩා යෝග්‍ය බව මාගේ අදහසයි. පරිපථය සෙලවීමකට ලක්වන විට නියමාකාර පෑස්සීමක් කිරීමට නොහැකියි. තවද මේ සදහා කුඩා ප්‍රමාණයේ දඩු අඩුවක් වැනි උපකරණයක් වුවද භාවිතා කළ හැකියි.තවද පෑස්සීමට ප්‍රථමයෙන් ඔබ පෑස්සීම සදහා යොදා ගන්න ඊයම් කැබැල්ල ද්‍රවයක් බවට පත්කළ හැකි තත්වයට බවුත් එක උණුසුම් වී ඇත්දැයි පරීක්ෂාකිරීමද කල යුත්තක්. මේ සදහා රීයම් දන්ඩ ගෙන බවුතයේ තුඩ මත තබා සැනෙකින් මොලොක් වනවාද යන්න පරීක්ෂා කරගත හැකියි.එසේ ද්‍රවයක් බවට පත් වීමට දිගු කාලයක් ගතවනවා නම් පෑස්සීම සදහ සුදුසු තත්වයට බවුත් එක රත්වී නොමැති බව හැගවෙන අතර එවැනි තත්වයක් යටතේ කෙලෙසකවත් හොද පෑස්සීමක් කල නොහැකියි.මේ සදහා ප්‍රධාන විදුලියේ ධාරාව අධු වීමද බලපෑහැකියි.
රදවනයක් ආධාර කරගන්නා අයුරු
ඉහත පරීක්ෂාකිරීම මගින්  පෑස්සිම සදහා උෂ්ණත්වය අවශ්‍ය මට්ටමේ බවුත් එක ඇති බව සනාථ වූයේ නම් ඔබට පරිපථය පෑස්සීමේ කටයුත්ත ආරම්භ කළ හැකියි. එසේම පෑස්සීම් කරන විට එකම උපාංගයේ අග්‍ර සියල්ලම එකවර පෑස්සීමද නොකල යුතුයි. මන්ද එවැනි අවස්ථාවකදී වුවද අදාල උපාංගය අන්වශ්‍ය ලෙස රත් විය හැකි හෙයිනි. විෂේශයෙන් ට්‍රාන්සිස්ටර් , අයි.සී වැනි උපකරණ පෑසීමේදී මේ බව සිතේ තබා ගත යුතුයි. පෑස්සීම් කටයුතු කරන විටදී බවුත් එක වැඩි වේලාවක් අදාල උපාංගයේ අග්‍ර මත තබාගෙන සිටීමද නොකළ යුත්තක්. අධික උෂ්ණත්වය හේතුවෙන්ද ඉලෙක්ට්‍රොනික් උපාංග වලට හානි පැමිණිය හැකියි. එනිසා තත්පරයක් දෙකක් වැනි කාලයක් ගෙන එක් ස්ථානයක් පෑස්සීම කල යුතු වනවා. මේ සදහා ඔබ ආධුනිකයෙක් නම් ප්‍රායෝගික පරිපථයක් පෑස්සීමට ප්‍රථමයෙන් කම්බි කැබැලි, වයර් වැනි දෑ එකට පෑස්සීම මගින් යම් පුහුනුවක් ලබා ගත යුතු වනවා. නිවැරදි පෑස්සිමකදී අධිකලෙස ඊයම් තැවරීමක් නොකළ යුතු අතරම පිරමීඩයක හැඩයට පෑස්සිම කල ස්ථානය දිස් විය යුතුයි. හොදින් පෑස්සූ පරිපථයක පෑස්සීමට ලක් කළ ස්ථන ස්පර්ශ කිරීමේදී සුමට බවක් දැනිය යුතුයි. එමෙන්ම එම ස්ථානයේ පෑස්සිමට ලක් කළ උපාංගයන්හි අග්‍ර ඉදිරියට නෙරා නොතිබිය යුතුයි. එමෙන්ම පෑස්සීමට ලක්කළ උපාංග වල අග්‍ර එකෙනෙකට තදින් බද්ධ වී තිබිය යුතුයි.
නිවරදිව පාස්සන අයුරු
Posted in බවුත්, සිංහල, Soldering | 4 Comments